Home හෙළ වෙදකම හෙළ වෙදකම හා ආයුරේදය

හෙළ වෙදකම හා ආයුරේදය

418
0
SHARE

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පෙර පැවති වෛද්‍ය ක්‍රමය වූයේ පාරම්පරිකව පැවත ආ “දේශීය චිකිත්සාව” හෙවත් සිංහල වෙදකමයි. ශ්‍රී ලංකාව වෙත බුදු දහම සම්ප්‍රාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස ආයුර්වේදයද දායාද විය. ආයුර්වේදය ශ්‍රී ලංකාවට ලැබුනේ අවුරුදු තුන්දහසකටත් අධික කාලයක් තිස්සේ එය වැඩී වර්ධනය වූ ඉන්දියාව වෙතිනි.කෙසේ නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය උතුරු ඉන්දීය ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය, දකුණු ඉන්දීය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය, අරාබි යුනානි වෛද්‍ය සම්ප්‍රදාය, සහ ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය චිකිත්සා ක්‍රමය යන සියල්ලෙහි සංකලනයක් ලෙසින් පවතින්නකි. එසේ වුවද ශ්‍රී ලංකාව ස්වකීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආවේනික සම්ප්‍රදායක් තුළ පවත්වා ගෙන යන අනන්‍ය වෛද්‍ය විද්‍යාවක් ලෙස පිළිගෙන තිබේ.

ආයුර්වේදය යන්නෙහි අදහසසංස්කරණය

ආයුෂ පවත්වා ගෙන යාමේ විද්‍යාව යනු ආයුර්වේදය යන්නෙහි අදහසයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිවාරණය පදනම් කර ගත්තකි. එහි ප්‍රතිකාර ක්‍රම මෙන්ම ඇවතුම් – පැවතුම් ක්‍රම හා වත් පිළිවෙත් ද පවතී. හුදෙක් රෝගයකට ප්‍රතිකාර කිරීමට වඩා රෝගයන්ට ගොදුරු නොවන පරිදි කායික – මානසික දෙ අංශයෙන්ම සුවදායී සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගෙන යාම ආයුර්වේදය මගින් අදහස් කෙරේ. आयु़्रश्मिन् विद्य तेनेनवा आयुर् विन्दतिति आयुर्वेद: ආයුෂ පිළිබද ඉගැන්වන බැව්න් ආයුර්වෙදය නම් වේ.

ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ මූලාශ්‍රසංස්කරණය

ඓතිහාසික ග්‍රන්ථ හා පුරා විද්‍යාත්මක සාධක යනාදිය ඉපැරණි ශ්‍රී ලංකාවේ දියුණු,ව්‍යාප්ත එමෙන්ම විධිමත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් පැවති බව සනාථ කරයි.

ඓතිහාසික ග්‍රන්ථ – මහාවංශයසංස්කරණය

ආරෝග්‍යශාලා ඉදිකිරීම, ඖෂධ හා ආහාර පාන වැනි දෑ සම්පාදනය කිරීම පිළිබඳ ව මහාවංශයෙහි තොරතුරු දැක්වේ.

පුරාවිද්‍යාත්මක සාධකසංස්කරණය

සිංහල ශිලා ලේඛනසංස්කරණය

මුල් කාලීන බ්‍රාහ්මී ශිලා ලේඛන වල මේ පිළිබඳ ව සඳහන් නොවේ. නමුත් සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගෙන යාම,නිරෝගී සම්පත ආදී කරුණු පිළිබඳ ව මෙන්ම ආරෝග්‍යශාලා පිහිටුවීම හා සම්බන්ධ කරුණු ද සිංහල ශිලා ලේඛන මගින් දක්වයි.

උදාහරණ

මැදිරිගිරිය ආරාම සංකීර්ණයේ පිහිටි ආරෝග්‍යශාලාව සම්බන්ධ නීති රීති දක්වන vi මිහිඳු රජුගේ මැදිරිගිරිය පුවරු ලිපිය

iv වන දප්පුල රජු විසින් ප්‍රධාන වෛද්‍යවරයෙකු වෙත ගම්වරයක් ප්‍රදානය කිරීම පිළිබඳ ව දැක්වෙන දෙවන දොරබාවිල ටැම් ලිපිය

පැරණි ආරෝග්‍යශාලාවන්හි සහ වෛද්‍ය මෙවලම් හා උපකරණ වල නටඹුන්සංස්කරණය

මිහින්තලේ,මැදිරිගිරිය,ආළාහණ පිරිවෙණ, ආදී ස්ථාන වලින් මෙම නෂ්ටාවශේෂ හමුවී තිබේ.

ලොව පැරණිතම ආරෝග්‍යශාලා‍වේ නටඹුන්-ශ්‍රී ලංකාව

ආරෝග්‍යශාලාසංස්කරණය

මහාවංශය දක්වන පරිදි ශ්‍රී ලංකාවේ ආරෝග්‍යශාලා ඉදි කිරීම ක්‍රි.පූ.4 වන සියවසේ පණ්ඩුකාභය රජ සමය තරම් ඈත අතීතයකට දිවෙයි. ආරෝග්‍යශාලා ඉදි කිරීම පිළිබඳ අදහස පැහැදිලිවම බෞද්ධ සංකල්පයකි. මිහින්තලේ ආරාම සංකීර්ණයෙහි පිහිටුවා තිබූ ආරෝග්‍යශාලාවෙහි නටඹුන් වලට අනුව එය ලෝකයේ ප්‍රථම විධිමත් ආරෝග්‍යශාලාව වන බවට විශ්වාස කරයි. ශ්‍රී ලංකාවේ ආරෝග්‍යශාලා පිළිබඳ තොරතුරු ලබා ගත හැකි වැදගත්ම මූලාශ්‍රය වන්නේ මහාවංශයයි. පැරණි ශ්‍රී ලංකාවේ ආරෝග්‍යශාලා 1.ගෘහස්ථයන් සඳහා වන ආරෝග්‍යශාලා

2.ආරාමිකයන් සඳහා වන ආරෝග්‍යශාලා වශයෙන් දෙවර්ගයක් යටතේ හඳුනා ගත හැකිය. මහාවංශයෙහි තොරතුරු දක්වන්නේ ගෘහස්ථයන් සඳහා වන ආරෝග්‍යශාලා පිහිටුවීම සම්බන්ධයෙන් පමණි. ආරාමිකයන් සඳහා ඉදි කළ ආරෝග්‍යශාලා පිළිබඳ තොරතුරු ටැම් ලිපි ආදී ශිලා ලේඛන මගින් ද අනුරාධපුර, පොළෙනේනරුව වැනි ප්‍රදේශයන් වලින් හමුවූ නටඹුන් මගින් ද හෙළිදරව් වේ.

ඉපැරණි රෝහල් සංකීර්ණයක්- රි‍ටිගල

ගෘහස්ථයන් සඳහා වන ආරෝග්‍යශාලාසංස්කරණය

රටේ ප්‍රධාන පුරවැසියා වූ රජුගේ මාළිඟාවට යාව “බෙහෙත් ගේ ” නමින් ස්ථිර වෛද්‍යාගාරයක් පිහිටුවා තිබිණි. මේ පිළිවෙත මහනුවර රාජධානි සමය වන තුරු පැවතිණි. පොදු ජනතාවගේ ප්‍රයේජනය පිණිස ආරෝග්‍යශාලා පිහිටුවීම රාජානුග්‍රහය මත සිදුවිය. ඒවා රෝගීන්ට නැවතී ප්‍රතිකාර ලැබීමට සුදුසු පරිදි සැළසුම් කර තිබිණි. එනම් නැවතී සිටීම පිණිස සාදන ලද්දේ යයි සැළකෙන කුටි වටේට මැද මිදුලක් හා ඊට යාබද ව පිහිටි පොදු පහසුකම් සහිත කාමර වලින් වටවූ දෙවන මිදුලක් ලෙස සැළසුම් කර ඇත. විශේෂ සේවා ආරෝග්‍යශාලා ගණනාවක් ද පැරණි ශ්‍රී ලංකාවෙහි ඉදිකොට තිබිණි.මින් බොහොමයක් ඉදිකොට තිබුණේ අනුරාධපුර නගරයේය. බුද්ධදාස රජු (ක්‍රි.ව. 362-409) ධාතුසේන රජු (ක්‍රි.ව. 460-478) ii උපතිස්ස රජු (ක්‍රි.ව. 522-524) i උදය රජ (ක්‍රි.ව. 790-792) යන රජවරුන් ආබාධිත සහ කොර තැනැත්තන් සඳහා රෝහල් පිහිටුවා තිබේ. බුද්ධදාස ii උපතිස්ස යන රජවරුන් අන්ධ තැනැත්තන් සඳහා විශේෂ රෝහල් පිහිටුවා තිබේ. මුල්ම මාතෘ නිවාසය ඉදිකරන ලද්දේ ii උපතිස්ස රජු විසිනැයි සෙල් ලිපියක සඳහන් වේ.

ආරාමිකයන් සඳහා වන ආරෝග්‍යශාලාසංස්කරණය

අනුරාධපුර, පොළොන්නරුව යන නගර ආශ්‍රිතව භික්ෂුන් වහන්සේ දෙදහසකට පමණ වාසය කළ හැකි ආරාම සංකීර්ණ පිහිටුවා තිබූ අතර ඒවායේ ආරෝග්‍යශාලා ද ඉදි කර තිබිණ. පැරණි ආරෝග්‍යශාලා වල නටඹුන් මෙතෙක් මතු කර ගැනීමට හැකිවී ඇත්තේ මිහින්තලේ,මැදිරිගිරිය,ආළාහණ පිරිවෙණ, ආදී ආරාම භූමි ප්‍රදේශ වලින් පමණි. මේ ස්ථාන වල තිබී සෙල් මුවා(ගලින් කරන ලද)‍ බෙහෙත් ඔරු සහ වෛද්‍ය උපකරණ හමුවී තිබේ. මීට අමතරව මැදිරිගිරිය ආරාම සංකීර්ණයේ පිහිටි ආරෝග්‍යශාලාව සම්බන්ධ නීති රීති දක්වන සෙල් ලිපියක් ද එම භූමි ප්‍රදේශයෙන් හමු වී තිබේ.

බෙහෙත් ඔරුව පැරණි වෛද්‍ය ක්‍රමයේ අපූර්ව නිර්මාණයකි. බෙහෙත් ඔරුවක් මුල් වරට සොයා ගත්තේ ඉතිහාසඥ එච්. සී. පී.බෙල් මහතා විසිනි. ඒ 1886 දී ථූපාරාම විහාර භූමිය ආශ්‍රිත නටඹුන් වලිනි. ඖෂධීය දියර බෙහෙත් ඔරුවෙහි බහා ඒ මත රෝගී පුද්ගලයා ගිල්වා කරන ප්‍රතිකාර විධිය “අවගාහන කායික චිකිත්සාව” ලෙස හැඳින්වේ. අනුරාධපුර,මිහින්තලේ,මැදිරිගිරිය,දීඝවාපිය ආදී ස්ථාන වලින් මෙම බෙහෙත් ඔරු හමුවී තිබේ. ඒවා නව වන සියවස තරම් ඈත අතීතයකට හිමිකම් කියයි. තවද බුද්ධඝෝෂ හිමියන් විසින් පස් වන සියවසේ දී සිංහලෙන් පාලි බසට පරිවර්තනය කරන ලද අටුවා ග්‍රන්ථයකට අනුව උණු දිය පුරවන ලද භාජනයක රෝගියෙකු බස්සවා එම උණු දියෙන් තවා කරන චිකිත්සා ක්‍රමයක් ගැන සඳහන් වේ. එනම් “නිමර්ජන චිකිත්සාව “ක්‍රි.පූ. 5 වන සියවස තරම් අතීතයේ සිට භාවිතා වී ඇත. තනි ගල් කුට්ටියකින් නිර්මාණය කරන ලද බෙහෙත් ඔරුව වූකලී,ශරීරයේ හැඩය හා අනුරූප වන පරිදි හෑරීමෙන් සකස් කර ඇත.ඔසු දියර ෑපරිම ලෙස පිරිමසා ගැනීම සඳහා අවම ඔසු දියර ප්‍රමාණයක මුළු සිරුරම ගිල්විය හැකි පරිදි ඔරුවේ ඇතුළු පැත්ත සකස් කර තිබේ. ශාක යුෂ,කිරි,ගිතෙල්,තෙල් වර්ග,විනාකිරි ආදිය යොදා ගනිමින් ඒ ඒ රෝගී තත්වයන් අනුව වෙනස් සංයෝග වලින් යුතු ඖෂධීය දියරයන් තනාගෙන තිබේ. මෙම චිකිත්සා ක්‍රමය චර්ම රෝග,වාත රක්තය,අර්ශස් සහ උණ වැනි රෝගී තත්ත්වයන් වලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගෙන තිබේ. බෙහෙත් ඔරු වලට අමතරව බෙහෙත් ඇඹරුම් ගල්, ගලින් සහ වානේ වලින් සෑදු කතුරු හා පිහි වැනි ශල්‍ය වෛද්‍ය උපකරණද නටඹුන් අතර තිබී හමුවී ඇත.

ඖෂධ වර්ග සහ චිකිත්සා ක්‍රමසංස්කරණය

ඖෂධ වර්ග

ආයුර්වේදයේ භාවිතා වන ඖෂධ වර්ග වැඩි ගණනක ම මූලාශ්‍රය වන්නේ ශාකමය කොටස් ය. ඖෂධීය වටිනාකමක් ඇති ශාකයක පංචාංගය (මුල්,කොළ,පොතු,මල්,ඵල ) ඇසුරින් ඔෂධ නිපදවා තිබේ. ඔසු පැන්,යුෂ,තෛල,බෙහෙත් ගුලි,කල්ක,ආසව,කෂාය,අරිෂ්ඨ ආදී වශයෙන් ආයුර්වේදයේ ඖෂධ මාධ්‍යයන් භාවිතා වී තිබේ. ශාක ඖෂධ වලට අමතරව මී පැණි, සත්ව මූලාශ්‍ර වලින් නිපදවෙන ඖෂධ මෙන්ම විවිධ පාෂාණ වර්ගද ඖෂධ වශයෙන් භාවිතා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ද ඔසු උයන් පවත්වා ගෙන ගොස් ඇති අතර මෙරට නොවැඩෙන ඖෂධ වර්ග ආනයනය කර තිබේ. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව,චිකිත්සා ක්‍රම,ස්වස්ථතාව පවත්වා ගෙන යාමේ ක්‍රම,සහ ඖෂධ නිෂ්පාදනය සම්බන්ධ මධ්‍යස්ථානයක් තිබූ බව රිටිගල නටඹුන් ඇසුරින් පෙනේ. චිකිත්සා ක්‍රම සළකා බලන විට ඖෂධ පානය කිරීම පමණක් නොව ඖෂධීය තෙල් ගැල්වීම,සම්බාහනය,නස්‍ය කිරීම,සැත්කම් ආදිය සිදු කර තිබේ. මීට අමතරව දෛනික ව්‍යායාම්,යෝග හා භාවනා ක්‍රම ද ආහාර චර්යාවන් ද ප්‍රතිකාර ක්‍රම සමඟ බැඳී පැවතිණි.

වෛද්‍යවරුසංස්කරණය

දුරාතීතයේ වෛද්‍යවරු සමාජයේ සම්භාවනාවට හා ගෞරවාදරයට පත් වෘත්තිකයන් ලෙස පිළිගෙන ඇත. සිංහල රජවරුන් අතර වෛද්‍යවරුන් ලෙසද කටයුතු කර ඇත්තාහ. මේ නිසාම “රජ කෙනෙකු විය නොහැකි නම් වෙදැදුරෙකු වන්න” යනුවෙන් කියමනක් සිංහලයන් අතර ප්‍රචලිතව පවතී. බුද්ධදාස රජු (ක්‍රි.ව. 362-409) එසේ වෙදකම් කළ රජවරුන් අතර පුරෝගාමී වේ. ඔහු අති දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි. “සාරාර්ථ සංග්‍රහය” නම් වෛද්‍ය ග්‍රන්ථය රචනා කළේ එතුමාය. සතුන් ට පවා ඔහු වෙදකම් කර ඇත. vii වන අග්බෝ, මහා පරාක්‍රමබාහු වැනි රජවරුන්ද වෛද්‍යවරුන් ලෙස සේවය කර ඇත. රජවරුන්ට අමතරව භික්ෂූන් වහන්සේලා ද වෛද්‍ය කර්මයෙහි නිරත වූහ. වෛද්‍ය අධ්‍යාපනය ලබා දීමේ පුරෝගාමීන් වූයේද භික්ෂූන් වහන්සේය.

වෛද්‍ය ග්‍රන්ථසංස්කරණය

වෛද්‍ය ග්‍රන්ථ ලිවීම සඳහා වැඩි වශයෙන් යොදා ගෙන තිබුනේ සංස්කෘත භාෂාවයි. මුල් කාලීන ව උගතුන්ගේ භාෂාවන් වූයේ ද පාලි සහ සංස්කෘත භාෂාවන්ය. මේ භාෂා දෙකෙහිම නිපුණත්වය ලැබූ බහුතරය වූ භික්ෂූන් වහන්සේ ලා විසින් වෛද්‍ය ග්‍රන්ථ ලියූ අතරම සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථ සිංහලයට පරිවර්තනය කර තිබේ. මුල් කාලීනව ග්‍රන්ථකරණයට යොදා ගත්තේ තල් පත් ඉරු වලින් තැනූ පුස්කොළ පොත්ය. ඒවායේ ලිවීම ඉතා දුෂ්කර සහ විශාල කාලයක් වැය වන්නක් වූ නිසා බොහෝ වෛද්‍යවරු දැනුම රැස් කර තබා ගත්තේ සිත් හි ධාරණය කර ගැනීමෙනි. ගද්‍යයට වඩා පද්‍යය පහසුවෙන් ධාරණය කර ගත හැකි වූ නිසා ඇතැම් වෛද්‍ය ක්‍රම සහ ඖෂධ වට්ටෝරු ආදිය පද්‍යයට නංවා මුඛ පරම්පරාගතව පවත්වා ගෙනැවිත්තිබේ. වර්තමානයේ දක්නට ලැබෙන පුස්කොළ පොත් වලින් බොහොමයක් ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය අළලා ලියනු ලැබ ඇති අතර ඒවා දෙවන ස්ථානය ගන්නේ ධර්මය සම්බන්ධයෙන් ලියැවී ඇති පුස්කොළ පොත් වලට පමණි.

වෛද්‍ය අධ්‍යාපනයසංස්කරණය

වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනීම භික්ෂූන් වහන්සේලාගේ සහ ප්‍රභූ පවුල් වල උපත ලැබූවන්ගේ වරප්‍රසාදයක් විය. පැරණි වෛද්‍ය අධ්‍යාපනයෙහි මුල් බිම වූයේ බෞද්ධ පන්සලයි. එසේම පැරණි පුස්කොළ පොත් එක් රැස් කර තිබුණේද එහිය. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අපේක්ෂා කරන්නන් විසින් එහි නිපුණ ආචාර්යවරයෙකු සොයා ගත යුතු විය. භික්ෂූන් වහන්සේ නමක් හෝ ගිහි වෛද්‍යාචාර්යවරයෙක් ගුරුවරයා විය.ශිෂ්‍යයා තුළ වෛද්‍ය විද්‍යාව ඉගෙනීමෙහි ලා සහජ දක්ෂතාවයක් පැවතීම සහ ශිෂ්‍යයා කෙරේ ආචාර්යවරයා තුළ ගොඩ නැඟෙන විශ්වසනීයත්වය වෙදකම පිළිබඳ ශාස්ත්‍රය පවරා දීමේදී වැදගත් වශයෙන් සළකා තිබේ. බොහෝ විට පන්සලේ හෝ වෙදැදුරුතුමාගේ නිවසේ හෝ වසර ගණනක් වෙසෙමින් ශාස්ත්‍රය හදාළ යුතු විය. නමුත් අද වන විට ආයුර්වේද වෛද්‍ය අධ්‍යාපනය විශ්ව විද්‍යාල මට්ටමින් පුළුල් වී තිබේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා විදේශීන් ගේ බලපෑමසංස්කරණය

අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි සමයන් හි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉතා දියුණු මට්ටමක පැවතියද පොළොන්නරු රාජධානිය බිඳ වැටීමත් සමඟඉ එය පසුබෑමට ලක්විය. කෝට්ටේ යුගයෙහි දී පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය යම් පමණකින් හෝ නඟා සිටුවීමට උත්සාහ ගන්නා ලද්දේ 1707 දී රජකමට පත් නරේන්ද්‍රසිංහ රජු විසිනි. එතුමාගේ ආරාධනාව පරිදි වැලිවිට සරණංකර සඟරජ හිමිපාණන් විසින් ” භේසජ්ජ මඤ්ජුසා” නම් පාලි වෛද්‍ය ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කරන ලදි. සියවස් ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය ජනතාව සිය සෞඛ්‍යය පවත්වා ගෙන යාම සඳහා භාවිතා කළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය1505 දී පෘතුගීසින් ගේ ආක්‍රමණයත් සමඟ සැළකිය යුතු ලෙස අභියෝගයට ලක් විය. පෘතුගීසි පාලන සමයේ කොළඹ, යාපනය සහ මන්නාරම යන නගරයන්හි රෝහල් පිහිටුවන ලදි. ලන්දේසින් විසින් එක් එක් ආරෝග්‍යශාලාවට දේශීය වෛද්‍යවරයෙකු බැගින් පත්කරනු ලැබීය. ඒ ලන්දේසි වෛද්‍යවරයාට සහය වීම පිණිසය. පෘතුගීසි හෝ ලන්දේසි මෙන් නොව බ්‍රිතාන්‍ය පාලකයෝ රට වැසියාට සෞඛ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූහ. මේ කාලයේ විවිධ වසංගත රෝග පැගිර යාම සුලභ කරුණක් විය. ඒ නිසා ගම් මට්ටමින් ජංගම බෙහෙත් ශාලා පිහිටුවීමට බ්‍රිතාන්‍ය ජාතිකයෝ පියවර ගත් අතර බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කරවූහ. 1858දී මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිහිටු වූ බ්‍රිතාන්‍ය පාලකයෝ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය රජයේ වෛද්‍ය ක්‍රමය ලෙස දියුණු කළහ. මේ නිසා රට වැසියන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙතින් ඈත් වීමට පටන් ගත්හ.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයසංස්කරණය

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවා පුළුල් වශයෙන් ක්‍රියාත්මක වන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයයි. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද නව පිබිදීමක් දක්නට ඇත. විශෞෂයෙන් ශ්‍රී ලංකාව සංචාරකයන ආකර්ෂණය කරන තෝතැන්නක් බවට පත් වීමට ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය හේතු වී තිබේ. ඒ හැර ශ්‍රී ලාංකිකයන් ද පෙරට වඩා වැඩි උනන්දුවක් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සහ වත් පිළිවෛත් කෙරේ දක්වති. වර්තමානයේ ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීම විවිධ ආකාරයෙන් සිදුවේ. ඇතැම් විට බටහිර වෛද්‍ය සම්ප්‍රදායයන් අනුව ද වෛද්‍යවරු සහ හෙදියන් පුහුණු කෙරෙති. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් ඒ යටතේ පිහිටුවා ඇති ආයුර්වේද දෙපාර්තමේන්තුවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සංවර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීමෙහි ලා ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉගැන්වීම හා පුහුණු කිරීම විධිමත් අන්දමින් සිදු කෙරේ. ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කිරීම මගින් පිළිගැනීමක්,ප්‍රමිතියක් සහ ආරක්ෂණයක් සපයා ඇත. 1961 අංක 31 ආයුර්වේද පනත යටතේ ආයුර්වේද වෛද්‍ය සභාව පිහිටුවා ඇති අතර එමගින් සහ පනත මගින් දක්වන සුදුසුකම් සපුරාලන තැනැත්තන් වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි කෙරෙනු ලැබේ. එසේ ලියාපදිංචිය ලබා ගත් වෛද්‍යවරුන්ට පමණක් “වෛද්‍යාචාර්ය” යන නාමය භාවිතා කිරීමට අවසර තිබේ. ආයුර්වේද වෛද්‍ය අධ්‍යාපනය උපාධි මට්ටමින් පිළිගැනීම දේශීය වෛද්‍ය විද්‍යායතනය මගින් සහ ආයුර්වේද වෛද්‍ය සභාව මගින් සිදු කරයි. ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනය මගින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ යුනානි වෛද්‍ය ක්‍රමය පිළිබඳ උපාධි පාඨමාලා පවත්වා ගෙන යයි

www.helawedarala.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here