Home යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් නිදන්හෙවූ මුතුබංඩා බහිරවයාගෙන් මට්ටුවෙයි

නිදන්හෙවූ මුතුබංඩා බහිරවයාගෙන් මට්ටුවෙයි

262
0
SHARE

මුතුබණ්ඩා යනු මීට සියවසකට එපිට ඉහත වන්නිහත්පත්තුවේ ජීවත් වූ ගැමියෙකි. සාමාන්‍යයෙන් මෙහි විසූ අතීත ගැමියන්ගෙන් සියයට අනූවක්ම හේන් කුඹුරු ගොවිතැනින් ජීවත් වූවෝ වෙති. එහෙත්, මුතුබණ්ඩාගේ ප‍්‍රධානතම ජීවිකාව වූයේ දඩයම සහ ප‍්‍රදේශයේ වැව්වල මසුන් ඇල්ලීම ය. අද මෙන් වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත දැඩිව කි‍්‍රයාත්මක නොවූ එ් කාලයේ වන සතුන් දඩයම් කළ මුතුබණ්ඩා එම දඩ මස් අමුවෙන් සහ වියළා විකිණීමටත්, ගැමියන්ගේ වී, කුරහන් ආදී කෘෂි නිෂ්පාදන සමඟ හුවමාරු කරගැනීමටත් පුරුදුව සිටියේ ය.

වන්නි හත්පත්තුව පුරා පැරණි ධන නිධාන රැසක් සුරක්ෂිතව පවතින බව අදටත් එහි ගැමියන් අතරේ ප‍්‍රබල විශ්වාසයක් පවති. එම නිදන් එසේ සුරක්ෂිතව පැවැතීමට හේතුව බහිරව දේවතාවා එ්වා සුරැකීම බව ද මෙහි ගැමියෝ පිළිගනිති. එසේම එම නිදන් හෑරීමට ගොස් ‘පොට වරද්දා ගත්තවුන්ට’ බහිරව දේවතාවන් වහන්සේගේ දැඩි දඬුවම් හිමිවන බවට තදබල විශ්වාසයක් අද ද වන්නි හත්පත්තුවේ ගැමියන් තුළ තිබේ.

අද අපගේ කතා නායක මුතුබණ්ඩා එම ගම්මානයේ සේම පිට පළාත්වල වැසියන්ගේ ද විශේෂ දැන හැඳුනුමට ලක්ව සිටියේ ය. එ් ඔහු පිටපළාත්වල වැසියන්ට ද දඩමස් සැපයීමට පුරුදුව සිටි බැවිනි. එසේ මුතුබණ්ඩාගෙන් දඩමස් ලබාගන්නවුන් අතර සිදාදියේ මහත්වරු ද වූහ.

ඔය අතරේ එක්තරා දිනයෙක එවන් නාගරිකයන් පිරිසකගෙන් මුතුබණ්ඩාට විශේෂ රාජකාරියක් පැවරුණි. එනම් වන්නි හත්පත්තුවේ මහ වනය මැද නිදන් ඇති ස්ථානයක් පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස ය. එසේ නිදන් ඇති ස්ථානයක් නිශ්චිත කොට පෙන්වුව හොත් එ් වෙනුවෙන් මුදල් තෑග්ගක් ලබාදෙන බවට ද ඔවුහු මුතුබණ්ඩාට පොරොන්දු වූහ.

වන්නි හත්පත්තුවේ මහ වනය සිසාරා දිවා රෑ කරක් ගසන මුතු බණ්ඩාට මහ වන මැද විශේෂ ලකුණු කෙටූ ගල් පර්වත කිහිපයක් ඇති බවට යාන්තමින් මතක ය. විශේෂයෙන් දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරු අශෝකමාලාව හා දිවි ගෙවූ බවට සැලකෙන ගල්කිරියාව කන්ද ආශ‍්‍රිත මහ වනයේ එබඳු විශේෂිත ස්ථාන කීපයක් ඇති බැව් ඔහුට සිහිපත් විණි. එහෙත්, අක්කර දස දහස් ගණනක් විශාලැති එම වනයේ ඇති එම ස්ථාන නිශ්චිත වශයෙන් හුවා දැක්වීමට ඔහුට මතකයක් නොතිබුණි. ඒ නිදන් ලකුණු පිරික්සීම තමන්ට අයත් රාජකාරියක් නොවූ බැවිනි.

ඒ අනුව දිනක් බත් මුලත්, වතුර ලබ්බක් තුවක්කු කෙටියක් සේම තවත් ආයුධ කිහිපයක් ගත් මුතුබණ්ඩා ගල්කිරියාව මහ වන පෙතට පිවිසියේ වන සතකු ඇහැ ගැහුණහෙත් ‘එලා ගන්නා’ අතර තමන්ට පැවරුණු ‘කොන්තරාත්තුවට’ අනුව නිදන් ලකුණු ඇති තැනක් හරි හැටි නිශ්චය කරගැනීමට ය. එහෙත්, එසේ මහ වනයට පිවිසි මුතු බණ්ඩා සුපුරුදු ලෙස එදිනම ඊට පසුදින හෝ නැතහොත් ඊටත් පසුදින නැවත ගම්මානයට කල එළි බැස්සේ නැත.

වර්තමානයේ ද එම ගල්කිරියාව වන පෙත ආශ‍්‍රිතව බහුල ලෙසම වන අලි ඇත්තු ගැවසෙති. අදට සාපේක්ෂව එදා මෙම වන අලි ගහණය හත් අට ගුණයකින් වැඩි වූ අතර දිවියා සහ වලහා යන භයානක සත්තු ද එම වන ගැබ තුළ නිතර සැරිසැරූහ. ඒ අනුව එම වනයට පිවිස දින තුන හතරකින් නැවත පිටතට නොපැමිණෙන්නකුගේ ඉරණම වටහා ගැනීමට එකල ගැමියන් ද කිසිදු අසීරුවක් ද නොවිණි. ඒ ඊට කලකට පසු එම වන ගැබට පිවිසෙන්නකු හට මිනිස් ඇටකැබලි, දිරා ගිය රෙදි කැබලි සහ මළ කෑ ආයුධ ඒ මහ වනය තිබී ඉතා අහඹු ලෙස හෝ හමු වූ බැවිනි. ඒ අනුව එවර වනයට ගිය මුතුබණ්ඩා වනය තුළ දී කිසියම් උපද්‍රවයකට ලක්ව නොඑන ගමන් ගොස් ඇතැයි ඔහුගේ ඥාතීන් ඇතුළු ගම්මු තීරණය කළහ.

කෙසේ හෝ මුතුබණ්ඩාගේ අතුරුදන් වීමෙන් සත්වන දිනය ද එළැඹිණි. ගම්මානයේ කිසිවකුත් අපේක්ෂා නොකළ පරිදි එදින මුතුබණ්ඩා මහ වනයෙන් පිටතට පැමිණ සිටියේ ය. එහෙත්, ඒ වන විට ඔහු මුළුමනින්ම සිහිවිකල් ස්වභාවයක් පළ කරන්නට විය. ඔහු ඇඳ සිටි ඇඳුම් කිළිටි වී ගොස් ඉරී තිබූ අතර කෙස්වැටිය අවුල් වී හැඩ පළු වී තිබිණ. මුතුබණ්ඩාගේ මුහුණින් පළ වූයේ ද මර බියකි. කෙසේ හෝ ඔහුගේ මෙම උන්මත්තක ස්වරූපය දුටු ගම්මු වියරුවෙන් කෑමොර දෙන මුතුබණ්ඩා අසීරුවෙන් වත්තම් කරගෙන ඔහුගේ නිවසට ගෙන ගියහ.

‘‘උඹට මොකක්ද වුණේ කියහං.’’
මුතු බණ්ඩාගේ මෙම ස්වරූපය මුල් කොට ඔහුට ප‍්‍රතිකාර පිණිස ගෙන්වූ ගමේ වෙද මහතා මුතුබණ්ඩාගෙන් ඇසී ය.

‘‘මං මහ කැලේ මැද්දේ නිදන් සොය සොයා දවස් දෙක තුනක් ඇවිද්දා මං අඳුනන මහත්තුරු කීප දෙනෙක් කියපු හින්දා. තුන්වෙනි දවසේ විතර කළු මහත කොට මිනිහෙක් මගේ ඉස්සරහට ඇවිත් උඹට නිදන් ඕනේ නම් මගේ පස්සෙන් වරෙන් කිව්වා. ඉතින් මාත් ඔහේ ඒ මිනිහා පස්සෙන් ඇවිදගෙන ගියා.’’

දෙනෙතින් උතුරන මර බියෙන් යුතු මුතුබණඩා කීය. එබැවින් ඊට කවුරුත් මහත් උනන්දුවෙන් යුතුව කන් දුන්හ.

‘‘ඊට පස්සේ ඒ මිනිහා කැලේ මැද්දේ තියෙන ලොකු ගල් ගුහාවක් ඇතුළට ගියා. මාත් ඉබේම ඒක ඇතුළට ගියා. ඒ ගල්ගුහාව රත්තරන්, මුතු මැණික්වලින් පිරිලා මුළු ගුහාවම දිස්නේ ගහනවා. හැමතැනම දිළිසෙන අඟුරු වගේ මැණික් ගොඩගහලා තියෙනවා. ඒත්, ඒවා එළියට ගේන්න තියා අල්ලන්නවත් ඒ කළු මහත කොට මිනිහා මට ඉඩ දුන්නේ නෑ. ඔය විදිහට මම තවත් දවස් තුනක් විතර ඒ රත්තරන්, මුතු මැණික් ගොඩ ළඟට වෙලා හූල්ල හූල්ලා හිටියා.’’

මුතුබණ්ඩා කීයේ සැම දෙන විස්මයෙන් භ‍්‍රාන්ත කරවමිනි.

‘‘ඒත් මට පස්සේ තේරුණා මම මේ විදියට කොච්චර හිිටියත් වැඩක් නෑ කියලා. ඒ හින්දා මම අර කළු මහත කොට මිනිහට කිව්වා දැන් මට ආපහු යන්න ඕනේ, මට ආපහු යන්න දීපන් කියලා. එතකොට ඒ මිනිහා කිව්වා මම උඹට යන්න දෙන්නම්, හැබැයි උඹ ගමට ගිහින් මේ ගැන කටින් කෙළ පොඞ්ඩක් හෙලූවොත් ඒ උඹේ අවසානේ තමයි කියලා. එහෙම කියපු ඒ මිනිහා මාව ගල්ගුහාවෙන් එළියට තල්ලූ කළා.’’

රැස්ව සිටි පිරිස හමුවේ එසේ කී මුතුබණ්ඩා වේගවත් සුසුමක් ඉහළට ඇද යළි එය පිටකරත්ම ඔහුගේ ගෙළ අප‍්‍රාණිකව පසෙකට කඩා වැටුණි.

‘‘දැන් ඉතින් වැඩක් නෑ. මුතුබණ්ඩාගේ පණ ගිහින්.’’

ඉන්පසු ඔහුගේ නාඩි පිරික්සූ වෙද මහතා කීය.

‘‘මුතුබණ්ඩාට ඒ කැලේ දී මුණ ගැසුණේ කවුද කියන්න මේ වන්නි හත්පත්තුවේ හැම ගැමියෙක්ම දන්නවා. කවදත් මේ වන්නි හත්පත්තුවේ ධන නිදන්වලට අරක් අරගෙන ඉන්න බහිරව දේවතාවුන් වහන්සේ නිදන් හොරුන්ට දඬුවම් දෙන එක ක‍්‍රමයක් තමයි ඔය.’’

අපවත්පූ වී වඳාල වන්නි හත් පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොතානේගම ධීරානන්ද හිමියන් මීට කළකට ඉහත තමන් වහන්සේහා පැවසූ බව ඇහැටුවැව දිවුල්ගනේ පූරාණ දිඹුලාගල රජමාහා විහාරාධිපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියෝ මා හා කීහ.

www.helawedarala.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here