Home යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් කළු කුමාර දේවතාවා

කළු කුමාර දේවතාවා

97
0
SHARE

තරුණියන්ට ආදරය කරමින්ම වෛර කරන කළු කුමාරයා
කුසුමලතා බිය වූයේ ඇත්තම කළු කුමාරයාටද 

දවටගහ ගෙදර කුසුමාවතී පාසල් අධ්‍යාපනය හමාර කර නිවසට වී විවේකීව අනාගතය දෙස බලමින් සිටි තරුණියක වූවාය. සහෝදරියන්ම තිදෙනකු සිටි පවුලේ මද්දුමිය ලෙස උපත ලද ඕ කාගේවත් වැඩි අවධානයට ලක්‌ නොවූ

ලඡ්ජාශීලී අහිංසක යුවතියක වූයේ කරුණු කිහිපයක්‌ම නිසාය.

කුසුමලතා පාසලේදී ඇගේ අක්‌කා හෝ නැගනිය මෙන් විෂය කටයුතුවලට සමත්කම් පෑවේ නැත. ක්‍රීඩාවකට උනන්දු වූයේ නැත. බාහිර කටයුත්තකට සහභාගි වූයේද නැත. කොටින්ම කිවහොත් ඇගේ අක්‌කා හෝ නැගනිය මෙන් සමාජයේ අවධානයට හෝ නිවසේ ගෞරවාදරයට ලක්‌ නොවූ ඕ නිතරම සිටින්නට ප්‍රිය කළේ අන් අයගෙන් වෙන්වූ පරිසරයක හුදෙකලාවේ තනිවම කල්පනා කරමිනි.

ඇය ඇගේ සියලු වැඩ තනිවම කරගන්නට උත්සාහ කළාය. කඩයට පිලට ගියත් පන්සලට ගියත් ගැසට්‌ටුවක්‌ බලන්නට යාබද තෙලිඡ්ජවිල හන්දියේ තැපැල් කන්තෝරුවට ගියත් පොතක්‌ මාරුකර ගන්නට පුස්‌තකාලයට ගියත් ඕ ගියේ තනිවමය.

ඕ දවසකට සැරයක්‌වත් රෙදි පෙරෙදි සෝදාගෙන නිදහසේ නාන්නට බොහෝසේ ප්‍රිය කළාය. ඒ සඳහා ඕ යැමට පුරුදුව සිටියේ නිවසේ සිට ඇවිද යන දුරෙහි පවතින බිසෝදොල නම් වූ තෙලිඡ්ජවිල ප්‍රදේශයේ සුප්‍රකට දිය දහරාව වෙතය. බිසෝ දොල රබර් වතුයායක සිට පහළට ගලා බසිනා ශීතල සුනිල දිය දහරාවකි. අතීතයේ ප්‍රාදේශීය රජවරුන්ගේ බිසෝවරු ස්‌නානය කළ නිසාදොa ප්‍රදේශයේ බිසෝදොළ නමින් ප්‍රකට මේ දිය දහර අදටත් දක්‌නට වෙති.

අවේලාවේ බිසෝදොලෙහි දිය නාන්නට යැම අවදානම් කටයුත්තක්‌ ලෙස ප්‍රදේශවාසීහු විශ්වාස කළත් කුසුමලතාට එහි වගක්‌ නොවීය. ඈ බිසෝදොළ අවට ඇති අඳුරට, නිසොල්මන් බවට හා හුදෙකලාවට ප්‍රිය කරමින් වැඩිහිටියන් මග හරිමින් අවශ්‍ය ඕනෑම වෙලාවක නාන්නට යැම ජීවිතයේ එක්‌ හිතුවක්‌කාර පුරුද්දක්‌ කරගත්තාය.

දිනක්‌ හවසක නාන්නට ගිය ඕ හිටිවනම මහත් කලබලයෙන් ගියාටත් වැඩි වේගයෙන් නැවත ගෙදර පැමිණියාය. ඇගේ හැසිරීම අමුතුය. පෙනුම කලබලකාරීය. සිදුවූ කිසිවක්‌ ගැන කල්පනාවක්‌ නැති ගානය. ප්‍රශ්න කළ කිසිවෙක්‌ රිස්‌සුවේ නැත.

ටික වේලාවකින් ඕ ගැහෙන්නට පටන් ගත්තාය. ඇස්‌ උඩ ඉන්දී ගියේය. දතකට පූට්‌ටු වී ගියේය. තදින් වෙව්ලන්නට පටන් ගත්තේය.

දෙමාපියෝ දෙවරක්‌ සිතුවේ නැත. හිතුවක්‌කාර අකීකරු චර්යාවට ඇවැසි නිසි දඬුවම් ඇයට ලැබී ඇති වග තේරුම් ගත් ඔවුහු වහාම යාබද අකුරුගොඩ නම් ගමේ සිටින කට්‌ටඬියන් සොයා පණිවිඩ යෑවූහ.

කට්‌ටඬි තැන පැමිණ කුසුමලතාගේ රෝග ලක්‍ෂණ සියල්ල විමසා බැලීය. තදින් උණ ගැනී උණ විකාරෙන් දොඩවන කුසුමලතාගෙන් ප්‍රශ්න කිහිපයක්‌ ඇසුවේය. අනතුරුව මල් බුලත් තට්‌ටුවක්‌ ගෙන අමු කහ කෑල්ලක අතුල්ලන ලද සුදු නූලක්‌ ගෙන අඟුරු කට්‌ටකුමංජල් ළඟට ගෙන දුම් අල්ලමින් මතුරන්නට පටන් ගත්තේය.

කුසුමලතා සාමාන්‍ය තත්ත්වයට පත්වූයේ එම නූල්පට ජප කරමින් ගෙල බැන්දායින් පසුවය. එහෙත් ඇය දැඩි ලෙස උණ රෝගයෙන් පෙළෙමින් සිටියාය.

කුසුමලතා තනි පංගලමේ නාන්නට ගිය වේලාවේ කළුකුමාර දිෂ්ටිය ඇයගේ ඇඟට ඇතුළු වී ඇති බව ගුරුන්නාන්සේ (යකැදුරා) දෙමාපියන්ට සැලකර සිටියේය. නිසි දින ගණන් සම්පූර්ණ වූ පසු “මහා කළු කුමාර සමයමක්‌” නටා ඇප නූල ගලවා ආතුරයා සුවපත් කළ හැකි බව ඔහු යෝජනා කළේය.

කුසුමලතාලාගේ නිවසින් බැහැරව යන්නට ඔන්න මෙන්න තිබියදී හසල ජීවන අත්දැකීම් සම්භාරයක්‌ සහිත ඒ ගුරුන්නාන්සේ නැවත දෙමාපියන්ට කතා කළේය.

“මේ වගේ තනිපංගලමේ මුළුගැන්නිලා ඉන්න ගෑනු ළමයි ගෙවල්වල ඉන්නකොට දෙමාපියන්ටත් කරන්න ලොකු යුතුකමක්‌ තියෙනවා. පුළුවන් තරම් ඉක්‌මනට හොඳ ගැළපෙන කෙනෙක්‌ හොයලා මේ දරුවව බන්දලා දෙන්න. එතකොට මේ ප්‍රශ්න ඉවරයි.

ගුරුන්නාන්සේ එදා එසේ කී කාරණාව තුළ ලොකු සත්‍යයක්‌ ගැබ්ව තිබුණ බව කුසුමලතාගේ දෙමාපියන් වටහා ගත්තේ කාලාන්තරයකට පසුවය. එහෙත් එදා සිට ඔවුන් සූදානම් වන්නට වුණේ මහ කළුකුමාර සමයම නටවන්නටය.

මේ අතීත කතාව මා ගෙනහැර පෑවේ කළු කුමාරයා කවුද කළුකුමාරයා නාන තොටවල ඉන්නේ ඇයිද, කළු කුමාරයා තරුණ ස්‌ත්‍රීන්ට පමණක්‌ දිෂ්ටි හෙලන්නේ ඇයිද යන ප්‍රශ්න ගැන ඔබ තුළ මතුවී ඒම සඳහාය. මෙතැන් පටන් මා විස්‌තර කරන්නට යන්නේ කළු කුමාරයා කවුද යන අතීත කතාවය.

කළු කුමාර යක්‌ෂ සංකල්පය අපේ රටේ වැඩි දුර ප්‍රචලිතව ඇත්තේ දකුණු පළාත තුළය. එහෙත් උඩරට පහත රට සබරගමු යන තුන් සම්ප්‍රදාය තුළම අඩු වැඩි වශයෙන් කළු කුමාරයාට සම්බන්ධ පුරාවෘත්ත ජනප්‍රවාදයේ පවතින බවට ලිත සාක්‍ෂි ගණනාවකි.

කළු කුමාරයා යනු “දේව පුරාණයට” අනුව දෙවියකු බව පැහැදිලිය. එනමින් එක්‌ දෙවියකු නොව දෙවිවරු සත් කට්‌ටුවක්‌ම අතීතයේ විසූ බවට සාක්‍ෂි දනවන දේව පුරාණය ඒ සත්කට්‌ටුව මෙසේ හඳුන්වා දෙනු ලබයි.

1. වෙල්ලස්‌සේ බණ්‌ඩාර කළුකුමාර

2. උඩුගම්පොල මැණික්‌සාමි කළුකුමාර

3. සෙන්කඩගල කළුකුමාර

4. අනුරාධපුර කළුකුමාර

5. හෙට්‌ටිනයිදේ කළුකුමාර

6. බින්තැන්නේ කළු කුමාර

7. කම්බිලි කළු කුමාර

මේ දෙවිවරු සත්දෙනා ගැන දේව පුරාණය කියතත් අපේ රටේ තොවිල් පවිල් කරන යකැදුරු පරම්පරාවන් මුඛ පරම්පරාගතව රැගෙන එන සාහිත්‍යයට අනුව කළු කුමාරයා යනු යක්‍ෂයෙකි. එක්‌ යක්‌ෂයෙක්‌ නොව යක්‌ෂයෝ 5 දෙනෙක්‌ ගැන පුරාවෘත්ත ඔවුන්ගේ මුඛ පරම්පරාගතව පැවත එන බව අපට කියන්නේ මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ ලියන ලද “කළු කුමාරයා පුද ලබන දාරක වත් පිළිවෙත්” යන ග්‍රන්ථයෙනි. එයට අනුව කළු කුමාරවරු පස්‌දෙනකු ගැන කතාන්දර 5 ක්‌ තුළින් විස්‌තර කර ඇත.

1. සෙංකඩගල පුවත

2. උඩුගම්පොල පුවත

3. මහ කළු රජ (මාතාවුළු) පුවත

4. නීල දමන කළු කුමාර පුවත

5. සිද්ධත්ත කළු කුමාර (බොකසැල්) පුවත.

කෙසේ වෙතත් සමාජයේ පවතින සාමාන්‍ය මතයට අනුව කළු කුමාරයා දේවත්වයට වඩා ළං වන්නේ යක්‌ෂාත්මයට බව පැහැදිලිය. මේ අතර අපේ රටේ වැදි ජනතාවගේ විශ්වාසයට අනුව කළු කුමාරයා යනු ඔවුන්ගේ බිළිඳු යකාගේ විකාශනයකි. තවත් පැහැදිලි කළහොත් කුවේණියගේ ආත්මය ලෙස සැලකෙන කකුළාපොළ කිරිඅම්මාගේ පුත්‍රයා වූ බිළිඳු යකා හෙවත් කළු දැකඩ කුමාරයා හෙවත් ඉලන්දාරි යකාය.

එහෙත් එක්‌ එක්‌ යකැදුරු පරම්පරාවලට අනුව පැවත එන අනෙකුත් කතා 5 විමසා බලන විට ලැබෙන්නේ එක එක විදියේ කතාය.

සෙංකඩගල පුවතට අනුව කළු කුමාරයා දෙවියෙකි. සෙංකඩගල රජ කළ පළමුවන විමලධර්මසූරිය රජුගේ වැඩිමහල් පුත් රාජසූරිය අස්‌ථාන කුමාරයා මරුමුවට පත් වූයේ දඬුවමක්‌ වශයෙනි. රජුට අයත් සුරතල් කොණ්‌ඩ කුරුල්ලෙකු දියේ ගිල්ලවා මරා දැමීමේ වරදට රජු තම පුත්‍රයා දියේ ගිල්ලවා මරවන ලදී. මෙසේ මියගිය අස්‌ථාන කුමාරයා පසුකලෙක දේවත්වයට පැමිණ ඊටත් පසු කලෙක කළු කුමාරයා ලෙස නාන තොටවල අරක්‌ගෙන සිටින බව කියයි.

උඩුගම්පොල පුවතෙහි දැක්‌වෙන අයුරින් බලනවිට කළු කුමාරයා යනු කෝට්‌ටේ යුගයේදී උඩුගම්පොල ප්‍රදේශයේ රජ කළ යුවරාජ සකල කලා වල්ලභගේ රජක කුලයේ බිරිඳකගේ පුත්‍රයාය. ඔහු වරෙක තම පියා හමුවී රාජ්‍යත්වය ඉල්ලා සිටියේය. එය නොලැබුණ තැන රජු හා උරණ වී ඔහු මරා දමන්නට උගුලක්‌ ඇටවීය. රජු නාන පොකුණේ වතුරට යටින් උල් රැසක්‌ සවිකළ මේ කුමරු බලා සිටියේ රජු පැමිණ පොකුණට පනින විට උල් ඇනී මැරේය කියාය.

රජු පැමිණ නාන්නට සැරසෙනවිට දිය මත මැස්‌සෙකු වසා සිටිනු දුටුවේය. දිය මත මැස්‌සෙකු සිටින්නේ කෙසේදැයි හේ විමසා බැලීය. මැස්‌සා සිටියේ සිටවන ලද උලක තුඩ මතය. රහස හෙළිවිය. කුමරා බියට පත්ව සිරිපා අඩවියට පලාගොස්‌ පර්වතයකින් පහළට පැන මියගියේය. මියගිය කුමරු ජලස්‌නානය කරන තැන්හි කළු කුමාරයා වී ඉපිද සිටීලූ.

මානාවළු පුවතට අනුව කළු කුමාරයා වී ඇත්තේ විල්ලෝඩි දේශයේ සිට මෙරටට ආ කළු මහ රජුය. ඔහු බිසවුන් සත්දෙනකු හා විවාහ වී මානාවළු නුවර රජකරමින් සිටියේය. ඔහුට මහා යුද්ධයකට යැමට අවශ්‍ය විය. රජු යුද්ධයට ගියේ බිසෝවරුන්ට උපදෙසක්‌ දීය. මම යුද්ධයෙන් දිනුවොත් සුදු කොඩියක්‌ ඔසවා පෙනෙන්නට සලස්‌වනවා. පැරදුණොත් කළු කොඩියක්‌ ඔසවා පෙන්වනවා. කළු කොඩියක්‌ දුටුවෝතින් පණ බේරාගෙන හැංගෙන්න.

මෙසේ කී රජු යුද්ධයට ගියේය. යුද්ධයෙන් ජයගත් ඔහු ආපසු එන ගමනේදී බිසෝවරුන්ට විහිළුවක්‌ කරන්නට සිතුවේය. ඔහු බොරුවට කළු කොඩියක්‌ එසවූ අතර ඉන් විස්‌සෝපයට පත් බිසෝවරු යාබද ඇල්ලකින් පහළට පැන දිවි තොර කර ගත්හ. මෙම සිද්ධිය දැනගත් රජු බිසෝවරුන්ට තිබූ අධික පෙම නිසා එම ඇල්ලෙන්ම පහළට පැන මිය ගියේය. මියගිය රජු කළු කුමාරයාව ඉපිද ජලස්‌නානය කරන තැන්හි සිට කාන්තාවන්ට පෙම් බඳින බව මානාවළු පුරාවත පවසයි.

කළු කුමාරයා කාන්තාවන්ට (යුවතියන්ට) මේ තරම් වෛර කරන්නේ ඇයිදැයි කියන කතාන්දරය අපට ගෙන එන්නේ නීල මදන කළු කුමාර පුවතයි. ඒ පුවතට අනුව කළු කුමාරයා යනු ගජබා රජුට රෙදි පිරුවට සපයන රෙදි නැන්දාගේ පුත්‍රයා වූ නීල මහා යෝධයාය. මේ රෙදි නැන්දා රජුගේ අනියම් බිරිඳ ලෙසද නීල යෝධයා රජුගේ පුතකු ලෙසද සමහර තැනෙක කියවේ. ගජබා රජු පසුකලෙක නීල යෝධයා තම සේනාධිපති බවට පත් කළේය. ඔහු සොලී රට යටත් කරන යුද්ධය සඳහා භාරතයට ගියේ නීල යෝධයා සමගය.

ගජබාගේ යුද සේනාව සොලී රට යටත් කර ගත්තේය. එරට ස්‌ත්‍රී පුරුය නම් පුරයක්‌ තිබිණි. එහි සිටි රූමත් ජවසම්පන්න ස්‌ත්‍රීන් කිසිදිනක පුරුෂයකුගේ පහසක්‌ ලබා නැත. සොලී රට යටත් කරගත් නීල යෝධයා ස්‌ත්‍රී පුරයෙහි නතර වූයේය. අධික කාමාශාවෙන් පෙලි පෙලී එහි දුක්‌ විඳි රූමත් ස්‌ත්‍රීන් නීලගේ හැඩි දැඩි රූපකාය අතගාන්නටත් ඔහු ලවා සිය ආශාවන් ඉටුකොට ගන්නටත් පටන් ගත්හ. අධික මෛථුනය නිසා වෙහෙසට පත් නීල එහිදී මියගොස්‌ ඇත්තේ රූමත් ස්‌ත්‍රීන් පිළිබඳ පහළ වූ බලවත් වෛරයකින් යුතුවය. මේ නිසා මරණින් පසු ඔහු නීල මදන කළු කුමාර ලෙස උපත ලබා රූමත් කතුන්ට වින කරන්නට පටන් ගත්තේලු.

සිද්ධත්ත කළු කුමාර පුවතට අනුව කළු කුමාරයා තෙරුන් වහන්සේ නමකි. සත් මහල් ප්‍රාසාදයකින් බිමට වැටී මියගිය ඔහු පසු කලෙක කළු කුමාරයා වුණේලු.

මේ කතාන්දර එක එක පළාත්වල එක්‌ එක්‌ ආකාරයට කියවුණත් සමස්‌තයක්‌ ලෙස ගත් කල කළු කුමාරයා මේ සියල්ලෙහි සම්පිණ්‌ඩනයෙන් සැදුම් ලත් යක්‍ෂයෙකි. වෛර කිරීම, ආදරය කිරීම කාන්තාවන්ට ලොබ බැඳීම නාන තොටවලට අරක්‌ ගෙන සිටීම ස්‌ත්‍රීන්ට දැඩි ලෙස ආදරය කිරීම මේ සෑම කතාවකටම පොදු ලක්‍ෂණය ලෙස සැලකිය හැකිය. මේ සියල්ල කැටිකර එක ඡේදයකින් කියන මහාචාර්ය කෝට්‌ටගොඩ සිය ග්‍රන්ථයේ තැනක මෙසේ සඳහන් කරයි.

කළු කුමාර දිෂ්ටිය බොහෝ දුරට ඇති වන්නේ නිසි කලට විවාපත් නොවන ස්‌ත්‍රීන්ටය. කළු කුමාර දිෂ්ටිය තුළින් කාන්තාවන්ගේ කාම ආශාව මූර්තිමත් කරන බැව් කියන්නට හොඳම නිදසුන එයයි. එවන් රෝගාතුරයින් කළු කුමාරයා සිහිනෙන් දැක ඔහු හා නිදි යහනෙහි රමණයෙහි යෙදෙනු දැකීමත්, ඒ හේතුව නිසාම ඔවුන් කෘෂ බවට පත්වීමක්‌ සිදුවන බව යකැදුරෝ පවසති. විවාහයෙන් පසුව කළු කුමාර දිෂ්ටිය නැති වන බව පවසන යකැදුරු පක්‍ෂය එවැනි ආතුරයන්ගේ දෙමව්පියන්ට දෙනු ලබන එකම උපදේශය වන්නේ ඔවුන් හැකි ඉක්‌මනට විවාහ කරදෙන ලෙසය.

ඒ දිගු විස්‌තරයට පසුව නැවතත් අපි දවටගහ ගෙදර කුසුමා වතීගේ පුවතට පැමිණිය යුතුය. ඇයගේ ගෙලේ ඇප නූලක්‌ බැඳ ආපසු ගිය යකැදුරා ප්‍රදේශයේ හොඳම ඇදුරන් හා නැට්‌ටුවන් එක්‌රැස්‌ කරගෙන මහ කළු කුමාර සමයමක්‌ නටන්නට සූදානම් වූයේය. කුසුමලතාගේ දෙමව්පියෝ ඒ සඳහා ලොකු මුදලක්‌ වියදම් කළහ.

මහ කළු කුමාර සමයම යනු අතීතයේ තෙදිනක්‌ පුරා නටන අති විශාල වියදම් අධික ශාන්තිකර්මයකි. සමයම් හතක පුදපෙත් ඊට ඇතුළත්ය. එහෙත් ඒ වියදම හා මහන්සිය සැලකූ යකැදුරෝ පසුකලෙක එම ශාන්තිකර්මයට සමයම් තුනක පුදපෙත් පමණක්‌ ඇතුළත් කළහ.

මේ අයුරින් නටන ලද තොවිලයෙන් පසුව කුසුමලතාගේ කළු කුමාර දිෂ්ටිය ඈ කෙරෙන් පලා ගියේය. එහෙත් කුසුමලතාගේ කළු කුමාර ආලයේ නියම රහස එළිවුණේ තොවිලයෙන් සති කිහිපයකට පසුවය. ඊට අනුව එදා කුසුමලතා නාන්නට ගිය ගොම්මන් හැන්දැ යාමයේ ඇය බිය වී ඇත්තේ ඇත්තටම කළුකුමාරයකුට නොව ගමේ කුලී වැඩ කරන හැඩි දැඩි තරුණයකුටය.

හේ දවස පුරාම කුලී වැඩ කර වෙහෙස මහන්සි වී හැන්දැවේ දොළට ගොස්‌ ඇත්තේ දිය සනහා ගන්නටය. ඇඟට ඇලී ගිය දිය රෙද්දකින් යුතුවූ කාන්තා සිරුරක්‌ තනි පංගලමේ දිය සනහනා අපූරුව ඔහු දැක ඇත්තේ එවිටය. දොළ ළඟ පඳුරකට මුවාවූ තරුණයා ඒ ළඳ නිදහසේ ඇඟපතෙහි සබන් ගාමින් දිය සනහනා අපූරුව වාරණයකින් තොරව බලා සිටියේය. ආශාව ඉවසාගත නොහැකිවූ ඔහු හුදෙකලාවේ වාසිය ගෙන ඇයව තම ග්‍රහණයට හසුකර ගන්නට වෑයම් කළේය. කුසුමලතා කළු කුමාරයා යෑයි සිතා බිය වී පණ එපා කියා පැන දිවගොස්‌ ඇත්තේ ඔහුට බයේය.

ඇතැම්විට එදා ඇය බිය වූයේ සැබෑ කළු යකාට නොව, ගමේ හැඩි දැඩි තරුණයකුට බව කල්තියා දැනගත්තේ නම් කීයටවත් ගෙදර නොදුවන බව කියමින් පසු කලෙක ගමේ ගැටව් කුසුමලතාට සරදම් කරනවා ඇසින.

www.helawedarala.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here