Home හෙළ වෙදකම ඒ කාලේ කජු වරේ මේකාලේ නෑ රාලේ

ඒ කාලේ කජු වරේ මේකාලේ නෑ රාලේ

239
0
SHARE
ඉතිං අයෙමත් පරණ විදියටම මොන මොනවා හරි ලියන්ට කියලා තමයි පටන් ගත්තේ… ඒත් ඉතිං මොනවා ලියන්ටද කියලා ඔළුවට දෙයක් එන්නේ නැහැ නෙව.
 
අන්තිමේදී කල්පනාවට ආවා කන බොන දේ ගැනම කියන්ට කියලා..මොකද මේ දවස්වල මගේ ඔළුව වැඩිපුර තියෙන්නේ ඔය අංශයේ නෙව.. ඒ කිව්වේ අර පහුගිය තුන් මාසේ උයන්ට පිහන්ට බැරි වෙච්ච හින්දා මේ ටිකේ හිතේ හැටියට එක එක කෑම වලට වද දිදී ඉන්නයි මං හුරු වෙලා ඉන්නේ…
 
හැබැයි ඉතිං කෑම ගැන උනන්දු උනාට බත් ලොරි ගණන් බඩට බස්සනවා අඩුයි..මගේ වැඩි කැමැත්ත එළවළු මාලු පිණී වලට..බත් අඩුවෙන්..එළවළු පලා ජාති වැඩියෙන්…
 
ඉස්සර අපේ තාත්තා නෙව ගෙදර ඉවුම් පිහුම් පැත්ත ගැන වැඩිපුර බැළුවේ..මොකද අම්මා හිටියේ රට ගෙහුන්..ඉතින් තාත්තා අපිට උයලා කවලා පොවලා ඉස්කෝලේ යැවිල්ලයි..ගෙදර තිබුණ සිල්ලර කඩේ වැඩයි හැම දේම කොරගෙන උන්නා..සිල්ලර වලට අමතරව හැමදාම උදේට කඩේ විකුණන්ට ඉඳිආප්ප..තෝසේ එහෙමත් හැදුවා.. හවස් අතේ වඩේ ටිකක් එහෙමත් බඳිනවා… අදටත් අපේ තාත්තා බඳින වඩේ එහෙක රසයට ළගින් යන්ට වඩයක් කන්ට හම්බ වෙන්නේ නැහැ කොහොන්වත්ම… හැබැයි අපේ තාත්තට වඩේ බඳින්ට අනිවාර්යෙන්ම හීන් කොච්චි ඕන.. හින් කොච්චි කරලක් දෙකක් එක්ක බැඳුන වඩයක් පුදුම රසයි නෙව…
 
ඉතිං ඒ දවස්වල හුගාක් වෙලාවට ගෙදර ඉදෙන්නේ අහල පහළීන් හොයා ගන්න දේ තමා..එළවළුවකට කියලා පිටින් ගන්න දේවල් හරිම සීමා සහිතයි..
 
නාඹර කජු..
කොහිළ දළු..
කොහිළ අල..
පොලොස් ගැට..
කෙහෙල් මුහ..
කැබැල්ල දළු..
දෙල්..
ඉන්නල..
බතල..
මඤ්ඤොක්කා..
අඹ..
ඇඹරැල්ලා..
බිළිං..
කළුපොල් මාළුව..
 
ඔය ජාති ටික ඕන වෙලාවක ලෑස්ති පිට තියෙන ජාති ටිකක් තමා..ඒ හැම එකම වියෑංජනේට හදනවා වගේම උදේටනං අල ජාති..දෙල් එහෙමත් තම්බලා කන වෙලාවල් තියේ… හැබැයි ඉතිං වැඩි වෙලාවකට උදේට කන්නේ ඉඳි ආප්ප එහෙම තමා..මොකද මොන දේ කොලත් අපේ තාත්තණ්ඩි හැම දාම උදේ දෙකට විතර නැගිටිනවා..ඒක එයාගේ පුරුද්දක්..ඒ නැගිටලා උදෙන්ම ඉඳි ආප්ප තැම්බිල්ල පටන් ගන්නවා… කොහොමත් දවසකට ඉදි ආප්ප හාරසීයත් හය සීයත් අතර තම්බන්න වෙනවා..ඉඳි ආප්ප කන්න පොල් සම්බෝලේ හැදෙන්නෙත් ඔය අතරෙම තමා..හැබැයි ඒකට හරියන්න වෑංජනයක් හදන එකනං කලින් දවසේ හවස් අතේම කෙරෙන වැඩක්…
 
බොහෝමයක් වෙලාවට ඉඳි ආප්ප කන්න හදන්නේ පොළොස් පැහි..කෙහෙල් මුහ..කොහිළ දළු..කැබැල්ල දළු..වගේම බිළිං මාළුව.. දවස් ටික මාරු කර කර ඔය ටික තමා උන්දෑ වැඩි හරියක් හදන්නේ..ඉතිං හැමදාම හවස පහට විතර කිට්ටු වෙන්ට ලොකු මැටි හට්ටියක පොළොස් වෑංජනයක් හරි කොහිළ දළු වෑංජනයක් හරි ඉදෙනවා..හවසට ටිකක් හොද්ද හිටින්න උයලා..රෑ තිස්සේ ලිපේ රස්නෙන් හිඳිලා..පහුවදා උදේ තෙම්පරාදුවක් එහෙම වෙලා..උදේ හය වෙනකොට ඒ වෑංජනේ කඩේට එනවා…
 
ඇත්තටම අදටත් මං ආස නැහැ අල හොදි..පරිප්පු හොදිත් එක්ක ඉඳි ආප්ප කන්න…හුගාක් අය හුරු වෙලා තියෙන්නේ එහෙම කන්න..ඒත් පොළොස් පැහි එක්ක..කෙහෙල් මුහ එක්ක.කොහිල එක්ක..විශේෂයෙන්ම කැබැල්ල දළු එක්ක සහ බිළීං මාළුව එක්ක ඉඳි ආප්ප කෑව කෙනෙක් ඉන්නවනං දනී ඉඳි ආප්ප අල හොදි..පරිප්පු එක්ක කන එක මොන දහ ජරා වැඩක්ද කියලා…
 
ඒ තරමටම ඒ වෑංජනත් එක්ක ඉඳි ආප්ප හරි රහයි…විස්වාස කරනවනං විස්වාස කරන්න..නැත්තං ඒත් විස්වාස කරන්න..මං පොඩි කාලේ.ඒ කියන්නේ අවුරුදු 10ක් විතර වෙන කාලේ මං ‍උදේට කිසි ගේමක් නැතිව ඉඳි ආප්ප 50ක් කනවා..අපේ මලයනං ඊටත් එහා..
 
උදේම හදන දුම් දාන ඉඳි ආප්ප නිකනුත් කෑ හැකි…ඉතිං අර වගේ වෑංජනේකුයි… හොඳ කලටි සම්බෝලෙකුයි සෙට් උනහම මොන අමාරුවක්ද..?
 
හැබැයි දැන් වගේ ඔය හාල් පිටි ඉඳි ආප්පනං නෙවෙයි ඒ තැම්බුවේ..පාන් පිටි ඉඳි ආප්ප තමයි..හාල් පිටි පරිභෝජනේ හොඳයි තමයි..ඒත් ඇත්ත කතාව තමා හාල්පිටි ඉඳි ආප්ප රහ නැහැ කියන එක.මටනං ඒවා කෑවම බඩේ නිකං ගින්නක් ඇවිලෙනවා වගේ දැනෙනවා..උගුරට ගෑස් ගතියක් වගේ දැනෙනවා..අදටත් ඔය කොහේදී හරි ඉඳි ආප්ප කන්න ගියහම මං මුලින්ම බලන්නේ පාන්පිටි ඉඳි ආප්ප තියේද කියලා තමා… මේ ලගකදී මං වැලි වේරියේදී උදේට කෑවා ෂෝක් පාන් පිටි ඉඳි ආප්ප ටිකක්… ඒකටම හරියන වෑංජනයක් නොතිබ්බත් හොද මස් වෑංජනයක් එක්ක නෙලලා ඇරියා..ඒ මස් මොනවද කියලනං අහන්න එපා..හුග දෙනෙක් අකමැති සතෙක් තමා…
 
කොහොම උනත් දැන් ඉස්සර වගේ ආයේමත් රහට ඉඳි ආප්පයක් කන්ට වෙන්නේ නැති එකනං බොහෝම දුකට හේතුවක්… අනික ඉතිං අපේ කඩවල් වල කොහේද උදේට පොළොස් පැහි…
 
ඔය පොළොස් පැහි කිව්වමත් කියන්ට ඕන..මට කාලයක් පොළොස් පැහි අප්පිරියාවටම ආවනේ..ඒ තමා මං පන්සලේ උන්න කාලේ..අනේ අප්පේ..පොලොස් කාලෙට කෙහේ ගියත් පොලොස්නං වරදින්නේ නැහැ…ඒ වගේම තමා කාලෙකට කොහිල දළු..කාලෙකට දෙල්… ඒ ඒ කාලේට මොනවද හැදෙන්නේ ඒ දේ අනිවා පන්සලට දින පතා ලැබෙනවා..ඕක මේ ලංකාව පුරාම පන්සල්වල දකින්න තියෙන කාරණාවක්..
 
ඔන්න මේක බලලා මට බනින්ට තියා ගන්ට එපා.. දෙන දේ පිලිගන්ට එපැයි කියලා..ඒවා ඔක්කෝමත් හරි..මං මේ කාරණාව සඳහන් කලේ අපේ උපාසක අම්මලාට… මොකද මං දන්නවා තාමත් මේ බ්ලොග් එක කියවන අය අතර පන්සල් ගැන උනන්දු..නිතර පින් දහං කරන උදවිය ටිකක් ඉන්න විත්තිය..ඒ අය සැරින් සැරේ මගෙන් ඔය සම්බන්ධ කටයුතු වලදී උපදෙස් එහෙමත් ගන්න හින්දයි කිව්වේ… අපි හිතන තරංම පොළොස්..කොහිල වගේ ජාති පන්සල් වලට අඩුවක් නැත..හුග දෙනෙක් අනේ මේවා ලැබෙනවා අඩුයිනේ කියලා හිතං තමා ඔය ජාති හදන්නේ..ඒත් හැම කෙනාම ඒ විදියට හිතන එක හරහා අඩු නැතිවම ඒ දේවල් හම්බ වෙනවා කියලා දැනගෙන ඉන්ටකෝ…
 
මේක කිව්වාම මට හිතුනේ..අඩු වියදමෙන් සහ අඩුවක් නැතිව හොදට දානයක් දෙන හැටි ගැන ලිපියක් ලියන්ටත් ඕන…ඊ ළගටවත් බලමුකෝ ඒ ගැන..තව පිරිතක් කියවන්න හිතං ඉන්න අයටත් උපදෙස් මාලාවක් දෙන්ට ඕනකමක් තියේ..ඒ ගැනත් සලකා බලමු.
 
ඉතිං මං මේ ලිය ලිය හිටියේ කාපු බීපු හැටිනේ…
 
ඒ දවස්වල අපේ උදේ වේල උනේ වැඩි හරියක්..ඉඳි ආප්ප..සතියකට දවසක් විතර තෝසේ…ඒ අතරම පාන් කන දවසුත් තිබුනා..ඒ වගේම දෙල් තම්බලා ලුණු මිරිසුයි පොළුයි එක්ක..එතකොට මයියොක්කා..බතල එහෙමත් උදේට ලැබුනා..ඒ අස්සේම අර ප්‍රේමදාස මහත්තයාගේ පාසල් දිවා ආහාර වැඩ සටහන හින්දා ටික කාලයක් මුං ඇට කඩල එහෙමත් ලැබුනා..මං මුං ඇට වලටයි කව්පි වලටයිනං බොහෝම කැමතියි..එදත් අදත්..ඒත් කඩලනං ම්හූ..මං ආස නැහැ…බඩ පිරෙන්න කඩල කන්න උනහම හක්ක රිදෙනකං කන්න එපැයි..ඒකයි..
 
ඔය දේට අමතරව හීල් බත්වලටත් ප්‍රධාන තැනක් තිබුනා නෙව… කලින් දවසේ ඉතිරි වෙච්ච බත් ටික දංකුඩ එක්කම බෙදාගෙන හින්දවපු කරවල හොද්දකුයි..උදේ ඉඳි ආප්ප වලට හදපු පොල් සම්බෝලයි එක්ක ටොපේ ටොප්..ආ ඒකටම තව පාන් කාලක් පොඩි කෑලි වලට කපලා බත් එකට උඩින් දාලා හොදට හොදි වැක්කෙරුවාම මොන සැපද අප්පා…
 
මාසෙකට වතාවක් දෙකක් දිය බත් වගේම..හතාවාරිය හරි එළබටු කොළ කැඳ හරිත් හැදෙනවා… හැබැයි කැඳ කේස් එකටනං මමයි මල්ලියි දෙන්නම පස්ස ගහනවා..ඒත් එක දවසක් ටොප් කැඳක් අහු උනා..ඒකනං පුදුම රසයි..ඊට පස්සේනං පොඩ්ඩක් විතර කැඳවලට ආසා හිතුනා..ඒ දවස්වලනං ඔවාගේ ගුණයක් අපි දන්නෙත් නැහැ..ඒත් ඒ එදා බිව්වේ වැල් පෙනෙල කැඳ වගයක්..හැදුවෙත් අපේ ගෙදරදී නෙවෙයි..අපේ ගෙවල්වලට ටිකක් එහායින් තියෙන අපේ බාප්පා කෙනෙක් වෙන කෙනෙක්ගේ ගෙදරක තමයි..නිකං හවස් අතේ අපි කට්ටිය හුගක් ඉන්නකොට ඒ වත්ත සුද්ද කර කර හිටිය කෙනෙක් හෙන වැල්පෙනෙල ගාලක් ගලවං ආපි.. ඊට පස්සේ එහෙ හිටි අයියලා අක්කලා නැන්දලා මාමලා නඩේම එකතු වෙලා ඔය වැල්පෙනෙල තොගේම දාලා කැඳ හැදුවා නෙව..
 
එදා කොහොම හරි දහයක් විතර හිටියා ඔය කැඳ එක බොන්න..බොන ගමන් ලොකු අය හිනා වෙවී මොන මොනවා හරි කිය කිය තමා දීලා ඇද්දෙත්..මං ඒ දවස්වල ඔය වැල් පෙනෙලවල ගුණයක් දන්නවායෑ..රහ හොද හින්දා නෙලලා ඇරියා කෝප්ප දෙක තුනක්ම..එහෙ හිටිය උන් මටත් හිනා උනා…මටත් මොකද..අනෙක ඒක හවස් වරුව..උදේට බොනකොට වමනේ යන්න වගේ ආවට හවසටනං කැඳ බොන්න ඇහැකි කියලාත් මට එදා හිතුනා…
 
ඉතිං ඔය වගේ බොහෝම විවිධත්වයකින් තමයි ඒ දවස්වල කෑම ටික පිළියෙල කෙරුනේ…
 
උදේට අර වගේ කාලා දවල්ට බත් කන්නත් ගමේ ගොඩේ එළවළු තමා වැඩි හරියක් තිබුනේ..බෝංචි..කැරට්..ලික්ස්..රතු අල..රාබු නොකෝල් වගේ එවා ටිකක් අඩුවෙන් තමයි දකින්න ලැබුනේ..දන්නවනේ ඉතිං පොඩි කාලේ..නැති දේවල්වලටනේ ආසා..ඒත් අර කලින් කිව්ව ගමේ ගොඩේ කෑමත් අවුලක් නැතිව කෑවා තාත්තා උයන හින්දම…මොකද අපේ තාත්තා අත ගහලා ඉව්වොත් පොල් කොල උනත් කන්න ඇහැකි..ඒ තරං හොඳ අත්ගුණයක් උන්දැට පිහිටලා තිබුනා.
 
ඔය දේවල්වලට අමතරව වත්තේ පිටියේ හිටෝපු බණ්ඩක්කා..වැටකොළු..වම්බටු..එළබටු..වගේ එළොළු ජාතිත් නිතරම වගේ කන්ට ඇහැකි කොම තිබුනා.
 
ඔය ඔක්කෝම පරාද එක කෑමක් තිබුනා..ඒ තමා කජු මාළුව…

www.helawedarala.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here