Home හෙළ වෙදකම ආරෝග්‍යා පරමා ලාභා

ආරෝග්‍යා පරමා ලාභා

142
0
SHARE

ආරෝග්‍යා පරමා ලාභා

ලෝකයේ බොහෝ රටවල් මෑත කාලීන ඉතිහාසයකට උරුමකම් කියනාතර හෙළයා ඊට බොහෝ ඈත අතීතයකට උරුමය හිමිකම ලැබ සිටී. ඒ බොහෝ පාරම්පරික දායාදයන් සමගිනි. “හෙළ වෙදකම” ඒ අතරින් ප්‍රමුඛස්ථානය ගෙන ඇතිබව පෙනේ. ලොව සියලු වෛද්‍ය කර්ම අතර හෙළ වෙදකම සතු විස්මිත රෝග සුවකිරීමේ හැකියාව මීට වඩාත්ම සාධනීය හේතුවයි. බටහිර වෛද්‍ය ක්‍රමය සතු වන්නේ යම් රෝගයකට ඖෂධ ලබාදී එහි රෝග ලක්ෂණ ඉස්මතුවීම වලක්වා රෝග නිධානය යටපත් කිරීමයි. එහෙත් අපගේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මගින් රෝගය නිසිලෙස හදුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකර්ම සිදුකොට එහි අවසාන ඵලය ලෙස එකී රෝගය නැවත ඇතිවීම වලක්වයි. ලෝකයේ ඇති සියලු වෛද්‍ය ක්‍රමයන්ට වඩා හෙළ වෙදකම සතු සුවිශේෂී ගුණය වන්නේ “රෝගාබාධයන් නිට්ටාවටම සුවකිරීමේ හැකියාවයි”. දෙවැන්න ලෙස සදහන් කල හැක්කේ ඉතා පුළුල් පරාසයක පැතිරී ඇති විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිත කළ ද ඉන් කිසිදු අතුරු අබාධයක් ඇති නොවීමයි.
පුරාණ ඍෂිවරුන්ගෙන් ලොවට දායාද වුයේ යැයි සැලකෙන ආයුර්වේදී වෛද්‍ය ක්‍රමය හෙළයා තව තවත් පරතෙර සොයා ගොස් මහානුභාව සම්පන්න වෛද්‍ය විද්‍යාවක් බවට පත්කොටගෙන ඇත. ලොව්තුරා බුදුන් වහන්සේ දෙසා වදාළ පරිදි මිනිසාට වැළදෙන රෝග කොටස් දෙකකි.
01 කායික රෝග
02 මානසික රෝග
මෙය හෙළ වෙදකම අනුව තවත් කොටස් කිහිපයකට බෙදේ. මින් කායික හා මානසික රෝග වැළඳීමට හේතු සාධක ද පැහැදිලි කෙරේ. මෙම වර්ගීකරණය අනුව මිනිසා ගොදුරුවන ව්‍යාධි විධි සයකි. 01 කායික රෝග
02 මානසික රෝග
03 කය විසින් මනස රෝගී කිරීම
04 මනස විසින් කය රෝගී කිරීම
05 බාහිර ශක්තතීන් මගින් කය රෝග කිරීම(පඨවී,ආපෝ,තේජෝ,වායෝ,ආකාශ )
06 බාහිර ශක්තීන් මගින් මනස රෝගී කිරීම(අමනුෂ්‍ය බලවේග වැනි)
මෙසේ රෝගය හා රෝග නිධානය මැනවින් හඳූනාගත් පසුව හෙළ වෛද්‍යවරයා විසින් ඊට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම ආරම්භ කරයි. එහිදී ඔහු විසින් කයට අවශ්‍ය ඔසු පමණක් නොව රෝගියාගේ මානසික සුවය සලසා දීමට ද අවධානය යොමු කරයි. මෙය “හෙදකම” නමින් අප අතර පවතින ක්‍රමවේදයයි. තවද කයට ලබාදෙන ගුලි,කල්ක,චුර්ණ,අරිෂ්ට,ක්වාත හා තෛලයන්ට අමතරව යන්ත්‍ර,මන්ත්‍ර,කන්ත්‍ර,තන්ත්‍ර,ජීව,රස,ආලෝක,ආකර්ෂණ,භූත,යක්ෂ,දේව හා භෞතික සිද්ධියෙන් ද රෝග නිවාරණය කරනු ලැබේ.
මේ සියලු ප්‍රතිකාරයන් භාවිතා කර කය මන සුවපත් කරන වෙදැදුරෝ කිසිදු ඔසුවක් ලබානොදී ස්පර්ශයෙන්,බැල්මෙන්,හුස්මෙන්,ගින්නෙන්, සහ දෙහි කැපීමෙන් පවා රෝග සුවපත් කරති. ආශ්චර්ය නම් එයයි. හෙළ වෙදකම ස්භාවධර්මයට අනුගත වුවකි. පරිසරයේ පවත්නා ගස්,මල්,මුල්,වැල්,කොළ,ගෙඩි, ගල්, ලෝහ හා සතුන්ගේ කටු, මුත්‍රා වැනි දෑ ද ප්‍රතිකර්මයන් සදහා යොදාගනු ලබයි. එමෙන්ම අදෘෂ්‍යමාන ශක්තින් ද යොදා ගනු ලබයි. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හෙළ වෛද්‍ය විද්‍යාව මුලිකව වෙනස් වන්නේ මෙකී කරුණු හමුවේදී බව පෙනීයයි. මන්ද යත් බටහිර වෛද්‍ය විද්‍යාව පදනම් වන්නේ පෙනිය හැකි, ඇසිය හැකි සාධක මත පමණි. එහි ප්‍රතිකාර ක්‍රමද සිදුවන්නේ ඒ පවත්නා දෘෂ්‍යමාන හේතූන් සඳහාය. එහෙත් හෙළ වෛද්‍ය විද්‍යාවට අනුව අපට පෙනෙන හේතුන් සහ නිසැකවම නොපෙනෙන හේතුන් ද විවිධ රෝගාබාධයන් වැළඳීමට මුලිකවම හේතු වේ. ඒ අනුව දෘශ්‍යමාන පංචමහා ධාතූන් මෙන්ම පියවි ඇසට දර්ශනය නොවන පංචමහා ධාතූන් ද ලොව පවතී.
යමෙකුට යම් රෝගයක් වැළඳූන විට කුමන බලපෑමක් මත එය හටගත්තේ දැයි දැන ඊට අවශ්‍ය කායික ප්‍රතිකාර පමණක් නොව මානසික ප්‍රතිකාර ද ලබාදීමද අතවශ්‍ය වේ. ඇතැමෙක් විවිධ ග්‍රහයන්ගේ බලපෑම් නිසා රෝගී වේ. එවිට ඔහුගේ රෝග ලක්ෂණ යටපත් කිරීමට කොතෙක් බාහිර ඖෂධ ලබාදුන්න ද ඉන් කිසි සුවයක් නොලැබේ. මෙය වටහාගත් හෙළ වෙදදුරෝ ග්‍රහ ශාන්තිකර්මයන්, යන්ත්‍ර පැළඳීම වැනි යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ හාස්කම් මගින් අත්දුටු ප්‍රතිපල ලබාගත්හ. නවීන වෛද්‍ය විද්‍යාව කොතෙක් දියුණු වුවද මෙවන් ප්‍රතිකර්ම කිරීමට එය සමත්කම් නොදක්වන අතර “ආයුර්වේදය එකතැන පල්වන දෙයක්” යැයි පවසන තරමට හෙළ වෙදකම අභියෝගයට ලක්කරයි. එහෙත් වසර දහස් ගණනකට එහා හෙළ වෙදකමේ නිපුණයන් සොයා ගත් හේතු සාධක දක්වා වර්ගීකරණයකට ලක්කරන ලද මානසික රෝග සම්බන්දයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව තවමත් ආධුනික තත්වයක පසුවේ. මන්ද යත් මානසික රෝග නමැති ව්‍යාධි විශේෂයක් ලොව පවත්නා බවට ඔවුන් මුලින්ම සොයා ගනු ලැබුයේ වසර 2002 දී වීමයි. එසේ නම් බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ සදහා ප්‍රතිකාර විධි සෙවීමට තව කොතරම් කලක් ගතවිය හැකිද? එහෙත් අද වන විට කිසිදු අතුරු ආබාධයකට ලක්නොවී පුර්ණ සුවය ලබාදෙන මානසික රෝගයන්ගෙන් මිදීමට අප සතු පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හැකියාව ඇත. මෙය හෙළ වෙදකමේ අරුමය දක්වන එක් නිදසුනක් පමණි.
අපගේ දේශීය වෛද්‍ය විද්‍යාව මුලිකව කායික හා මානසික රෝග මුල් කරගනිමින් තවත් කොටස් කිහිපයකට බෙදේ.ඒවා සැකෙවින්
01 විෂ වෙදකම
02 කැඩුම් බිඳූම් වෙදකම
03 සර්වාංග වෙදකම
04 නිල වෙදකම
ආදී වශයෙනි මිනිසාගේ සිරුරේ නාඩි 7200ක් පමණ ඇති බවත් ඉන් ප්‍රධාන නිලස්ථාන කිහිපයක් ඇති බවත් ආයුර්වේදයේ දැක්වේ. එම නිල තෙරපීමකට ලක්කිරීමෙන් රෝග සුව කිරීමේ ක්‍රමවේදය “නිල වෙදකමයි. වර්තමානයේදී ද මෙම මෙම ක්‍රමයෙහි නිපුන ඉතා දක්ෂ දේශීය වෛද්‍යවරු සිරිලක වෙසෙති. එහෙත් සිය රට දේ නිසි අගයක් නොදන්නා සිංහලයෝ බොහෝමයක් චීනකටු චිකිත්සාව වැනි වෛද්‍ය ක්‍රමයන්හි පිහිට පතති. ඒ එක අභාග්‍යකි. මන්ද යත් අප රටේ ජාතික ධනය පිල්ලි යැවීමට මෙබදු විදෙස් වෛද්‍ය ක්‍රමයන් පහසුම ක්‍රම බවට පත්වී ඇති හෙයිනි. අවාසනාවන්තම කරුණ නම් බොහෝදෙනා ඖෂධ ශාක පිළිබඳ නොදන්නා කමයි. එදා අපගේ ගෘහණියන් ඉගුරු,ලුණුවිල,කහ,කෝමාරිකා, බැලතණ,මොනරකුඩුම්බිය හා නොයෙකුත් ඖෂධ පැළෑටි සිය ගෙවත්තේම වගාකර ගත්හ. ඉන් හදිසි අවස්ථාවකදී අත් බෙහෙත් සදා ගැනීමට නිසග දැනුමක් ඔවුන් සතු වූ අතර ඖෂධ ශාක හා පැළෑටි පිලිබඳව මනා අවබෝධයකින් යුක්ත වූහ. එහෙත් අද වනවිට එම තත්වය බොහෝ දුරට හීනවී තිබේ. අවම වශයෙන් එම එම ශාකෟෂධ සංරක්ෂණය කිරීමේ නිසි වැඩපිළිවෙලක් හෝ දක්නට නොලැබේ. එහෙත් සත්‍ය තත්වය නම් අප මේ සගවා ගෙන ඇත්තේ මහා නිධානයකි. දුර්ලභ ඖෂධ මානව වැඩෙන මේ හෙළ බිමේ බීජ, අතු හා පෑළ සිටුවා නිසි කල පැමිණි පසු ඒ ඔසු ලෝකයටම හඳූන්වාදිය හැකිනම් මෙරටට විදේශ විනිමය අතිවිශාල ලෙස උපයාගත හැකි හොඳම ක්‍රමය මෙයයි. එමෙන්ම ලෝකයේ විවිඩ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අනුගමනය කර පිඩාවට පත්වී ඇති සමස්ත ලෝ වාසීන්ට හෙළ වෙදකමේ අසිරිය දැන, දැක, විඳ ඉන් කායික හා මානසික සුවය ලබාගැනීමට ඉඩහසර ලබාදීමට ද මෙය මහගු අවස්ථාවකි.
එමෙන්ම සිංහල බෞද්ධයා හා ඔහුගේ උරුමයන් ලොවෙන් තුරන්කර දැමීමට දහසක් විජාතික බලවේගයන් අප අභිමුව ඇති අද දිනයේ අප තව තවත් ශක්තිමත් වියයුතු වන්නෙමු. ඒ සදහා නිරෝගී, ශක්තිමත්, උපක්‍රමශීලි හා ඥනාන්විත හෙළයන් පෙරමුණ ගතයුතු යුගයක් උදාවී තිබේ. එසේ නම් උතුම් හෙළ වෙදකමේ අනුහසින් එහි සාරය ප්‍රයෝජනයට ගෙන ජවයෙන් පිරි දිවියක් ඇරභියයුතුව තිබේ. සරලව කිවහොත් හෙළ වෙදකමේ මුලිකවම දැක්වනුයේ නිවැරදි ආහාර රටාවන්, නිවැරදි විහරණයන් හා සරල දිවිපෙවතක් අනුගමනය කිරීම නිරෝගී දිවියකට හොඳ පදනමක් බවයි. ඒ කරුණු මනාව අවබෝධ කොටගෙන ඒ අනුව පැවතෙමින් සිල් රකිමින් කටයුතු කරන සිංහල බෞද්ධයා නැවත අපගේ මුතුන් මිත්තන් මෙන් ලොව පුදුමකරන කටයුතුවලට සමත්කම් දක්වන්නෙකු වීමට පදනම අප සතු මේ මාහැගි දේශීය වෛද්‍ය ක්‍රමයේ ගැබ්වී ඇත. එසේ නම් එය හඳූනාගෙන එය සුරකිමින් ඉන් ලැබිය හැකි විපුල ඵල ලබමින් තවත් චිරාත් කාලයකට ප්‍රයෝජන ගතහැකි සේ අනාගත පරපුරට දායාද කිරීම හෙළ බිමේ උපන් ඔබේත් මගේත් වගකීම නොවේද? මන්ද යත් ලොව්තුරු බුදුරජාණන් වහන්සේ වදාළ සේ සත්වයාට ලැබිය හැකි පරම ලාභය ආරෝග්‍ය සම්පත්තියයි. ඒ උතුම් බුද්ධ දේශනාව අනුව යමින් ජාතියේ නිරෝගී භාවයම අපේක්ෂාවෙන් අසිරිමත් හෙළ වෙදකම සුරකිමු

www.helawedarala.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here